Thursday, February 22, 2018

නුරා.......

සයිබර් අවකාශේ
රැවුම් පෙරලුම් දැකලා
කොහොමවත් කියන්නැති
කතාවක් කියැවුනා....
සමහරක් සෙනඟ ඈ
සොයාගෙන ගිහිල්ලා
ඉනවටක් දවටලා
ඉසඹුවක් හෙව්වා....
කියන්නට කෙනෙක් නැති
අසන්නට කෙනෙක් නැති
ඕ තොමෝ සිතුම් අස
තනිකමක් දැනුනා........
තරු ගොඩක් හිනැහිලා
හොර හොරෙන් බැලුවාට
ඈ හිතින් තනි වෙලා
ඉකිලමින් ඇඩුවා....
පෙු්මයක් අවුළුවපු
ගිනි ගහන කාෂ්ටෙක
නුරා ගිනි දළු මැදින්
ජීවිතය දැවුවා......
                            දිල්රු දිසානායක


Thursday, January 18, 2018

හද ගුල



අස්විද දැකුම්
නැකැතුත් ඒ දැක දැකම
සත් විද පෙමින්
රිදවුම් තව විදෝගෙන.....

තත් සිඳි බියෙන්
තනුවද විසි කරාගෙන
කවියද දමා
පෑගුවයි අඬාගෙන........

නෙක් විද හැඟුම්
තදකර ලැම බදාගෙන
සිප් හැර පෙමින්
මුසවුවයි වෙලීගෙන.......

සංකර ගතිද
පහ කරගෙන බැදීගෙන
පෙම්කල නමට
නැත කිසිවක් ලැබීගෙන.......

නෙත් තද කරන්
ඇසිපිය නොම ගසාගෙන
හද ගුල ඇරන්
හිනැහීයන් බලාගෙන.....

පෙම්බර නුඹගෙ
හද විල මල් පිපීගෙන
එකළුව එතැයි
සිතපන් පෙම පුරෝගෙන......

Tuesday, January 16, 2018

හිතලුවක්


නොනිදාම පහන් කල
අමාවක මේ රැයට
පුන් හදක් පායන්නේ
නැතිවාද මන්දා.....

සීතලේ දුරැත්තට
පෙළ ගැහෙන තුෂාරෙට
ගල් ගැහුණු හිත් අඩිය
පෑරිලද මන්දා.......

අක් බඹරු කෙස් රොදක්
වසාගෙන නෙත් කෙවෙනි
රිදුම් දෙනවා තදින්
නුඹ කොහෙද මන්දා........

නහර වැල් ඉලිප්පුනු
මුව කමල මැලවිලා
ඇස් ගෙඩිද තඩිස්සිව
ඉදිමිලද මන්දා........

වක්කඩක් කැඩුවා වගෙ
හෝ ගගා කඳුළු බිඳු
කොපුල් තල පීරගෙන
කොහෙ ගියෙද මන්දා........

පෙු්මයේ රසෝඝය
වියැකිලා දුක් බරිත
හිතලුවක් වෙලා නුඹ
කැරකේද මන්දා........

Sunday, January 14, 2018

රෝමාන්තික





රෝමාන්තික ප්‍රේම සිහිනයක
අඩව්වක් අල්ලලා නුඹ
ඉසව්වක් නොපෙන්වා
හැංගිලා තකහනියක්ම.....

ඉංඟිතයක් නැතුව මට
යන්න කීවම, කියන්න පණ
යන්නෙ කෝමද
හැංගිලා නොකියාම....

සංවරම හිතක් ලඟ
ඇහැරිලා අසංවර
සිතුවිලිත් පුපුරලා
හිඩැසකුත් තැනුවාම......

තුන් හිතම ඇහැරගෙන
නිදි මතේ හැම රෑක
නුඹ ගැනම සිතුවාම
ඉකිළුවා දැනුනා......

තතනමින් උඹේ ලඟ
පෙරලිච්ච හිත් අඩිය
නැගිටුවාලා යන්ට

  1. නුඹ එයිද මන්දා.......

Friday, January 12, 2018

රහ






දම් පාට නුවරකම
සීතලේ හිරි වැටුන
නෙත් අගින් ගලා ගිය
කදුලු බිදු ගල් වුනා.....

ඇලී ඒ ඇස අගම
ගලන්නට නොහැකිවම
හිරවෙලා වැතිරිලා
කොපුල් මත ගුලි වුනා.......

සීතලේ වෙව්ලනා
අතැඟිලිද දැවටෙද්දි
කදුලු බිඳු තව තවත්
ගල් වුනා ගුලි වුනා.........

විරහවේ රහ දැනී
ලුනු රසක් දෙතොල් මත
ගෑවිලා නොගෑවී
හෙමි හෙමින් පිට උනා.....

සීතලට තොදොල් වුන
උණු කෝපි කෝප්පය
විරහවට උණුහුමක්
තවරලා හිනැහුනා.......


Thursday, January 11, 2018

ආදරී


හිත හීරෙන්නම
නුඹ මගෙ හිත උඩ ඇවිදිනවා
නුඹ හයියෙන් බර අඩි තියනකොට
මට බරට දැනෙනනවා
නුඹ කිසි ගානක් නැතුව
මගෙ හිත උඩ දගලනවා.......

හිත හිරිවැටිලා
ගල් වෙලා
ඒ හී සර පාර සැරයි වගේ
හිත සිදුරු වෙලා
මෙහෙම වෙන්නැති
නුඹෙ ආදරේ......

රිදවුම් ගැරහුම් මැද
මම දඟලනකොට
නුඹ තව හයියෙන්
බර අඩි තියනවා
නුඹෙ ආදරේ එහෙමද
තදට හීරුවෙ නැත්තං
නුඹට මදි වගේද...

අනේ ආදරී
මම දරාගන්නෙ කොහොමද
කියපන්
නුඹෙ බර අඩි රිදවුම්
දැන් ඇති ආදරීි.....

කරපන් ආදරේ
රිදවන්නෙ නැතුව මට
සිඹපන් මගෙ කමමුල්
ළං වෙයන් මට
ආදරීි
බර අඩි එපා මට මගෙ ආදරී.....